“මනෝපුබ්බංගමා ධම්මා – මනෝසෙට්ඨා මනෝමයා, මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා, තතෝ නං දුක්ඛමංවේති – චක්කං’ව වහතෝ පදං”
ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්රේෂ්ඨ වෙන්නෙ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලුහුබඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගොනාගෙ පස්සෙන් එන රෝදයක් වගෙයි. (ජේතවන අසපුවේදී චක්ඛුපාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති, සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා (ජේතවනාරාමයේදී ධම්මික උපාසකතුමා අරභයා වදාළ ගාථාවකි.)
“උට්ඨානවතෝ සතිමතෝ – සුචිකම්මස්ස නිසම්මකාරිනෝ, සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ – අප්පමත්තස්ස යසෝ’භිවඩ්ඪති”
නැගී සිටින වීරියෙන් යුක්ත නම්, හොඳින් සිහිය පවත්වනවා නම්, පිරිසිදු ක්‍රියාවෙන් යුක්ත නම්, නුවණින් විමසා බලා කටයුතු කරනවා නම්, සංවර නම්, ධාර්මික ජීවිතයක් ගෙවනවා නම්, අන්න ඒ අප්‍රමාදී පුද්ගලයාගේ කීර්ති රාවය ඉහළින්ම පැතිරෙනවා (වේළුවනාරාමයේදී කුම්භඝෝෂක අරභයා වදාළ ගාථාවකි.)
“අප්පම්පි චේ සහිතං භාසමානෝ – ධම්මස්ස හෝති අනුධම්මචාරී, රාගංච දෝසංච පහාය මෝහං – සම්මප්පජානෝ සුවිමුත්තචිත්තෝ, අනුපාදියානෝ ඉධ වා හුරං වා – ස භාගවා සාමඤ්ඤස්ස හෝති”
ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්ම දේශනා කරන්නේ ටිකක් වෙන්න පුළුවනි. නමුත් ඔහු ඒ ධර්මයේ පිහිටලා රාග, ද්වේෂ, මෝහ දුරුකරනවා. ධර්මාවබෝධය තුළින් දුකෙන් නිදහස් වෙච්ච සිතක් ඇති කර ගන්නවා. මෙලොව, පරලොව කිසි දේකට ඔහු බැඳෙන්නෙ නෑ. තමන්ගේ ශ්රමණ ජීවිතෙන් උතුම් මග ඵල ලබාගැනීමේ හිමිකාරයා වෙන්නෙ අන්න ඒ භික්ෂුව තමයි. (ජේතවනාරාමයේදී යහළු තෙරුන් දෙනමක් අරභයා වදාළ ගාථාවකි.)